ඊළඟ මොහොත මේ මොහොතෙන් වෙනස් වන්නේ කුමක් නිසාද?
- Jul 7, 2018
- 2 min read
Updated: Sep 8, 2018
(සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු)
අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්, උපේක්‍ෂා වේදනාවක්‌ම අනිත්‍ය වී ගියානම්, අහිමි වී ගියානම්, අනාගතයේ රට, ජාතිය, ආගම නිසා අම්මා, තාත්තා දරුවන් නිසා රැකියාව, ව්‍යාපාරය නිසා මට මෙවැනි සැප වේදනාවක් ලැබෙනවා කියල බලාපොරොත්තු වෙනවා නම් එම අනාගත සැප වේදනාව නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අනාගතයේ මම දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක්‌වෙලා, සශ්‍රීක මනුෂ්‍යයෙක් වෙලා මෙවැනි සැප වේදනාවන් ලබනවාය කියල බලාපොරොත්තු වෙනවා නම් එම සැප වේදනාවන් නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අතීත වර්තමාන වේදනා ස්‌කන්ධය අනිත්‍ය වී ගියානම් අනාගතයේ ඔබ බලාපොරොත්තු වන විඳීම් අනිත්‍ය වන ධර්මතාවක්‌මයි. අතීතයේ වර්තමානයේ සකස් වූ සෑම දුක් වේදනාවක්‌ම, උපේක්‍ෂා වේදනාවක්‌ම අනිත්‍ය වී ගියානම්, අනාගතයේ සකස් වෙන සෑම දුක් වේදනාවක්‌ම උපේක්‍ෂා වේදනාවක්‌ම “අනිත්‍යයි අනිත්‍යයි” වශයෙන් නුවණින් මෙනෙහි කරන්න.
අතීතයේ ශක්‍ර ජීවිතයේ සැප වේදනාවත් අනිත්‍ය වී ගියා නම්, මේ ජීවිතයේ සැප වේදනාද අනිත්‍යයි දකිමින්, සැප වේදනාවට නොඇලී ඉන්න. අතීතයේ සතර අපායෙන් විඳි, දුක් වේදනාවන් අනිත්‍යවී ගියා නම් මේ ජීවිතයේ ඔබ විඳිනා දුක් වේදනාද අනිත්‍යයි. එම නිසා දුක් වේදනාවන්ටත් ගැටෙන්න එපා. සැප වේදනාවට නොඇලෙන තැන දුක් වේදනාවට නොගැටෙන තැන ඔබ ඉන්නේ උපේක්‍ෂා වේදනාව තුළයි. ඒ උපේක්‍ෂා වේදනාව ඔබ අනිත්‍යයි කියල අවබෝධ කරගන්නේ උතුම් අරිහත් ඵල අවබෝධය ලබන අවස්‌ථාවේදියි.
ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවතුන්ලාගේ සිත කමටහනක් ඔස්‌සේ තැන්පත් වෙනකොට එම සැප වේදනාවට බැඳී යනවා. සිත විසිරී යනකොට සිත විසිරීයැමේ දුක් වේදනාවට ගැටෙනවා. පිංවත් ඔබ නොවිසිරෙන, විසිරෙන සිතුවිලි ඉදිරියේ අනිත්‍යයේ අර්ථය මතුකරගනිමින් උපේක්‍ෂාව තුළටම පැමිණෙන්න දක්‍ෂවෙන්න ඕන. උපේක්‍ෂාව කියන අර්ථය තුළදියි, ධර්මය ඔබ තුළ වැඩෙන්නේ. ධර්ම මාර්ගයේ අවසන් අදියරේදියි, පිංවත් ඔබ උපේක්‍ෂාවේ අනිත්‍යභාවය දකින්නේ. එතෙක් උපේක්‍ෂාව ඔබව මාර්ගයේ ඉදිරියටම රැගෙන යැමට උපකාරක ධර්මයක්‌ම වෙනවා.
දැන් පිංවත් ඔබට වැටහෙනවා ඇති පංචඋපාදානස්‌කන්ධයට අදාළ වේදනාව කියන ධර්මතාව විඤ්ඤාණය බැසගෙන සිටින වේදනාව කියන ධර්මතාව අනිත්‍ය වශයෙන් දැකීමට නම් පිටකොන්දේ වේදනාවට, දණහිසේ වේදනාවට වේදනාවයි වේදනාවයි සිත සිතා සිටීමෙන් පමණක් මේ වේදනාවට ඇති තෘෂ්ණාවේ ප්‍රශ්නය විසඳීමට නොහැකි බව. මාරයා මෙවැනි සීනිබෝල කමටහන් තුළ ඔබව සිරගතකර යථාර්ථය වසන් කිරීමට උත්සාහ කරන පංචඋපාදානස්‌කන්ධ ලෝකයක් තුළ පිංවත් ඔබ අතීත, වර්තමාන, අනාගත වශයෙන් සැප, දුක්, උපේක්‍ෂා විඳීම්වල අනිත්‍යභාවය අර්ථවත්ව නුවණින් මතුකරගනිමින් ඔබේ විවේකීභාවය වේදනාවේ අනිත්‍යභාවය දැකීම උදෙසා යොමුකරගන්න දක්‍ෂ වෙන්න.
පිංවත් ඔබ පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව ඇසෙන් රූපයක් දකිනවා. කනෙන් ශබ්දයක් අහනවා, නාසයට ගඳ සුවඳත් දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණ දෙයට, ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණ ගැටුණ උපේක්‍ෂා සහගත වුණ දෙයට ඔබ මොකද කරන්නේ. ඔබ හඳුනාගන්නවා. හඳුනා ගන්නවා කියල කියන්නේ සංඥාවට. වේදනාව නිසා සකස් වූ ඵලයයි, සංඥාව හෙවත් හඳුනාගැනීම. ‘වේදනා නිරෝධා සංඥා නිරෝධෝ’
පිංවත් ඔබ දැන් බොහෝම සියුම්ව ඔබ තුළ සිදුවන පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළ මුල් සිදුවීම් පෙළ නුවණින් දකින්න. මුලින්ම ඔබ ඇසෙන් රූපයක් දකිනවා. දැක්‌ක රූපයට ඔබ ඇලෙනවා ගැටෙනවා. නැතිනම් උපේක්‍ෂා සහගත වෙනවා. තෙවැනිව ඔබ එම රූපය හඳුනාගන්නවා. මේ මගේ තාත්තා, අම්මා, නංගී මල්ලී කියල හඳුනාගන්නවා.
මනුෂ්‍යයෝ සියයක් සිටින තැන ඔබේ අම්මා සිටියොත් එක ක්‍ෂණයෙන්ම ‘මේ මගේ අම්මා’ කියල හඳුනාගන්නවා. මේ සුදුපාට, රතුපාට, නිල්පාට වශයෙන් හඳුනාගන්නවා. මොහු ජපන් ජාතිකයෙක්, මොහු ඇමරිකානු ජාතිකයෙක් වශයෙන් හඳුනාගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කර බලන්න. ඔබ වර්තමානයේ යම් රූපයක් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් මනසින් හඳුනාගත්තා නම් ඒ සෑම හඳුනා ගැනීමක්‌ම අනිත්‍යයි නේද? මේ මොහොතේ මනුෂ්‍යයෙක් වශයෙන් හඳුනාගත් රූපයක් ඊළඟ මොහොතක දෙවියෙක්, ප්‍රේතයෙක්, තිරිසන් සතෙක් වෙන්න පුළුවන්. මේ මොහොතේ නිල් පැහැයට තිබෙන ආකාසය ඊළඟ මොහොතේ කළු පැහැ ගැන්වෙන්න පුළුවන්. මේ මොහොතේ ජපන් ජාතිකයෙක් ලෙස හඳුනාගත් රූපය, ඊළඟ මොහොතේ මියගොස් අප්‍රිකානු ජාතිකයෙක් වෙන්න පුළුවන්. වර්තමානයේ පිංවත් ඔබ තුළ සකස් වෙන්නා වූ සෑම සංඥාවක්‌ම, හඳුනාගැනීමක්‌ම වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. විකෘති වෙලා යනවා.





Comments