top of page

ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින්නට නම්…

  • Writer: Daham Maga
    Daham Maga
  • Jul 7, 2018
  • 2 min read

Updated: Aug 31, 2018

ආධ්‍යාත්මික රූපයත් මාරයාම වූ කල, මීට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙන විඤ්ඤානයත් මාරයාම වූ කල, මෙහි ඵලය වන, ඵස්‌සය කියන ධර්මතාවත් මාරයාටම අයිති ධර්මතාවක්‌ බවට පත්වෙනවා. ඵස්‌සය පිංවත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නා මොහොතක්‌ පාසා, පිංවත් ඔබ මාරයා, එසේත් නැතිනම් සංස්‌කාර ජීවිතයට එකතු කොටගත් භවගාමී පුද්ගලයෙක්‌ වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව කවදාකවත් අකීකරු ලෝකය හදන්න යන්නේ නැහැ. අකීකරු ලෝකය තුළ භික්‍ෂුව කීකරුව ජීවත්වෙන්නේ අකීකරු ලෝකයෙන් ඇසෙන, දකින, දැනෙන, වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම නිසාමයි. පිංවත් ඔබටත්, අකීකරු ලෝකය වටිනා කමටහනක්‌ බවට පත්වෙන්නේ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම තුළින්මයි. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතා, ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින ශක්‌තිමත්භාවය ලබනවා.


සමහර දෙමාපියන්, ගුරුවරුන් අපට කියනවා ‘මේ දරුවා මට පෙන්නන්න බැහැ’ කියලා ‘අහවල් මනුෂ්‍යයා මට පෙන්නන්න බැහැ’ කියලා. ඇයි මෙහෙම වෙන්නේ? වර්තමාන ඵස්‌සය මගේ කොට ගන්නවා. ඵස්‌සය තුළ මම සිටිනවාය කියලා ගන්නවා. ඵස්‌සය මගේ ආත්මය කොට ගන්නවා. උවමනාවෙන්ම මාරධර්මයන්ට ආහාර, පෝෂණය ලබාදෙනවා. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවත් ඔබ අතීත ඵස්‌සයේද අනිත්‍යභාවය දකින්න. පිංවත් ඔබ ඔබේ ඇස්‌දෙකෙන් මුලින් දැක්‌කේ කුමක්‌ද? ඔබේ අම්මාගේ රූපයයි. ඒ දැක්‌ක අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, ආච්චී, සීයා, තොටිල්ල, සෙල්ලම් බඩු, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය…. මේ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. විකෘති වී ගියා. අතීතයේ ඔබ දැක්‌ක ඔබේ මහගෙදර, මහ ඉඩම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. අහිමිවී ගියා.


පිංවත් ඔබගේ කනට මුලින්ම ඇසුණාවූ ශබ්දය ඔබට මතකද? ඔබ මවුකුසෙන් එළියට එන වේලාවේ, ශල්‍යාගාරයේ ඔබ නැඟූ ඔබේම කෑගැසීමේ හඬයි ඔබ මුලින්ම ඇසුවේ. දෙවැනිව ඔබේ අම්මාගේ දරු නැලවිලි, තාත්තාගේ සුරතල් බස්‌, අතීතයේ ඔබට ඇසුණා වූ සෑම ශබ්දයක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ මොනතරම් රූපයන්, මොන තරම් ශබ්දයන් ඔබට දැනෙන්නට ඇතිද? පරිසරයෙන්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් මේ ඇසුණු සෑම මිහිරි වූද ශබ්දයන් අනිත්‍ය වූ හැටි නුවනින් දකින්න. පිංවත් ඔබේ දිවට දැනුණු මුල්ම රසය මව් කිරිවල රසයයි. පිංවත් ඔබ මුලින්ම ඉඳුල් කටගාපු දවසේ දැනුණු ආහාරයේ රසය අනිත්‍ය වූ හැටි නුවණින් දකින්න. ඔබේ නාසයට දැනුන අම්මාගේ සුවඳ, අම්මාගේ ශරීරයේ උණුසුමේ පහස, සිනිඳු ඇතිරිලිවල පහස අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ ඔබ ඇසූ සෑම ශබ්දයකම, සෑම දැනීමකම, සෑම සිතිවිල්ලකම අනිත්‍යභාවය නුවණින්a දකින්න. මේ ඔබ දකින්නේ අතීත ඵස්‌සයේ අනිත්‍යභාවයයි.


බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයෙනුත් ඈතට අතීත ජීවිතවල ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න කියලා. පටිච්චසමුප්පන්නව ඉපදුණු ඔබේ ඇසෙන්, ඔබ අතීතයේ කොපමණ නම්, බුදුරජාණන්aවහන්සේලා දකින්න ඇතිද? පසේබුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා දකින්නට ඇතිද? ඒ උතුමන්ගෙන් කොපමණ නම් සද්ධර්මය අසන්නට ඇතිද. උන්වහන්සේලා නිසා මොනතරම් නම් ධර්මයේ ආශ්වාදයන් දැනෙන්නට ඇතිද? ඔබ ඒ අතීතයේ දැක්‌ක, ඇසුණ, දැනුන සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යවී ගියා. පිරිනිවී ගියා. අහිමිවී ගියා. අතීතයේ පිංවත් ඔබ සක්‌විති රජුවෙලා ඉපදුණු වෙලාවේ, ශක්‍රදෙවියන් වෙලා ඉපදුණු වේලාවේ මොනතරම් අතිසුන්දර, සුඛෝපභෝගී, රූමත්, මිහිරි රූපයන්, ශබ්ධයන්, ස්‌පර්ශයන් දකින්නට ඇසෙන්නට දැනෙන්නට ඇතිද? නමුත් ඒ අතීත සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. දෑස්‌ පියාගෙන, පිංවත් ඔබ දිව්‍ය ලෝකවල ඉපදුණු වෙලාවේ ඔබ ලැබූ අසිරිමත් දිව්‍ය සම්පත්, දිව්‍ය රූපයන්, දිව්‍ය භෝජන, දිව්‍ය නැටුම් ගැයුම් වැයුම් වෙනස්‌ වී ගිය හැටි, අහිමි වී ගිය හැට නුවණින් දකින්න. ඔබ සතර අපායන්නට වැටුණු වෙලාවේ සතර අපායන්හි ඔබ දැක්‌ක, ඔබට ඇසුණ, දැනුණ, ඔබේ සහෝදර සහෝදරියන්, ප්‍රේත ප්‍රේතියන්ගේ, තිරිසන් සතුන්ගේ, අසුරයන්ගේ, නිරිසතුන්ගේ, අපුල රූපයන් , බියකරු ශබ්දයන්, අමිහිරි ස්‌පර්ශයන් අනිත්‍ය වී ගිය අතීත ඵස්‌සයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න.


දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති ඔබ පටිච්චසමුප්පන්නව පැමිණි අතීත භවයන්හිදී ඔබට ඇසුණාවූ, ඔබට දැනුණාවූ ඔබ දැක්‌කාවූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය කියලා.

ree

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page