top of page

වේදනාවත් සංඥාවත් හඳුනාගන්න

  • Jul 7, 2018
  • 3 min read

Updated: Jul 15, 2018

සබ්භාසව සූත්‍රය – 2


චතුරාය්‍ය සත්‍යය නොදැනීම නිසා, කුසල් අකුසල් සංස්‌කාරයන් රැස්‌වන හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් නිසා විඤ්ඤාණය සකස්‌වන හැටි නුවණින් දකින්න. විඤ්ඤාණය හේතුවෙන් නාම රූප සකස්‌වන හැටි නුවණින් දකින්න. නාමරූප හේතුවෙන් සලායතන සකස්‌වන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබේ රූපයට හිත යොමුකරලා, රූපයේ ඉපදීමට මූලික හේතුව අවිද්‍යාව වශයෙන් දකින්න. දෑස්‌ පියාගෙන ඔබේ රූපය තුළින් අවිද්‍යාවේ අඳුර දකින්න.


අවිද්‍යාව නිරෝධය කළ තැනදී, සංස්‌කාර නිරෝධය වන සැටිත්, සංස්‌කාර නිරෝධය කළ තැනදී විඤ්ඤාණය නිරෝධය වන සැටිත්, විඤ්ඤාණය නිරෝධය කළ තැනදී නාම රූප නිරෝධය වන සැටිත්, නාම රූප නිරෝධය කළ තැනදී සලායතන නිරෝධය වන සැටිත් නුවණින් දකිමින් ජීවත්වෙන්න. දර නිසාම ඇවිළෙන ගිනිගොඩක්‌ සිහියට නගාගෙන, ගිනිගොඩේ දර ඉවරවීම නිසා ගිනිගොඩ තුළින්ම ගින්දර නිවීයන හැටි නුවණින් දකිමින් ‘සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ’ කියන ධර්මතාවය නුවණින් දකින්න. විඤ්ඤාණයේ බැසගැනීමෙන් සකස්‌වෙන, මව්කුසේ කලල රූපයට සිත යොමුකරමින්, ක්‍රමාණුකූලව මරණය කරා යන ජීවිතය, උපාදානය හේතුවෙන් නැවත භවය සකස්‌කොටගන්නා හැටි නුවණින් දකින්න. මේ උපක්‍රමශීලී නුවණින් දැකීම, රූපය කෙරෙහි සක්‌කායදිට්‌ඨිය සිඳගැනීම සඳහාමය. මෙසේ පටිච්චසමුප්පන්නව ඔබේ ජීවිතය දකිනකොට, රූපය තුළ මම සිටිනවාය, රූපය තුළ ආත්මයක්‌ තිබෙනවාය කියන දෘෂ්ඨීන් ප්‍රහීනය වෙලා යනවා.

මීළඟට පංචඋපාදානස්‌කන්ධයට අදාළව වේදනාව කියන ධර්මතාවය නුවණින් දකින්න. වේදනාව යනු ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන ඵලයයි. හේතුඵල ධර්මයන් වශයෙන් වේදනාව ඔබ නොදකින නිසාම, වේදනාව තුළ මම සිටිනවාය, මා තුළ විඳින කෙනෙක්‌ සිටිනවාය, වේදනාව තුළ ආත්මයක්‌ තිබෙනවාය, ඒ ආත්මය තුළ මම සිටිනවාය කියලා සිතනවා. ඒ නිසාම නිරතුරුවම ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමකම ඔබ බැඳී යනවා. පිංවත් ඔබ අතීතයේ අත්විඳි සෑම සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමක්‌ම මතකයට නගාගෙන, ඒ සෑම විඳීමකම අනිත්‍යභාවය නුවණින් දකින්න. ජීවිතය තිබෙන්නට හැර වේදනාව හිස්‌ කරන්න.


බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අහසේ නන්වැදෑරුම් සුළං හමනවා. පෙරදිග සුළං, පෑළදිග සුළං, උතුරුදිග සුළං, දකුණු දිග සුළං, දුහුවිලි සුළං, උණුසුම් සුළං, සිසිල් සුළං… කියලා. එලෙසින් මේ සිරුරේද නන්වැදෑරුම් දුක්‌, සැප, උපේක්‍ෂා වේදනාවන් ඇතිවෙනවා කියලා.


ඔබ අත්විඳින සෑම සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමකම ඵස්‌ස පච්චයා වේදනා, ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධෝ කියන ධර්මථාවයන් සිහියට නගාගන්න. වේදනාව හිස්‌ දෙයක්‌, අනිත්‍ය වූ දෙයක්‌, අනාත්ම වූ දෙයක්‌ බව නුවණින් දකින්න. අන්‍යයන්ගේ ජීවිත වලටත් මේ ධර්මතාවයන් ගලපා දකින්න. මහේශාඛ්‍ය ජීවිත ගතකරන මනුෂ්‍යයින්, සශ්‍රීක දෙවියන් ආදීන් අත්විඳින සැප වේදනාවන්ගේ අනිත්‍යභාවය නුවණින් දකිමින් දකින්න. වේදනාව කෙරෙහි ඇති සක්‌කායදිට්‌ඨිය, වේදනාවේ අනිත්‍යභාවය දකිමින් තුනී කරගන්න.


මීළඟට පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව කියන කාරණාව නුවණින් දකින්න. සංඥාව කියලා කිව්වත්, හඳුනාගැනීම කියලා කිව්වත් එකම අර්ථයයි. වේදනාව කියන හේතුව නිසා සකස්‌වෙන ඵලය සංඥාවයි. සංඥාව තුළ ඊට වඩා දෙයක්‌ නැහැ. නමුත් තෘෂ්ණාව නිසා අපි සංඥාව මගේකොට ගන්නවා. සංඥාව තුළ මා සිටිනවාය කියලා දකිනවා. සංඥාව තුළ ආත්මයක්‌ තිබෙනවාය, ඒ ආත්මය තුළ මා සිටිනවාය කියලා දකිනවා. බුදුරජාණන්වහන්සේ සංඥාව කියලා කියන්නේ හඳුනාගැනීම කියන අර්ථයට. සුදුපාට දෙයක්‌ ඔබ සුදුපාටයි කියලා හඳුනාගන්නවා. රතුපාට දෙයක්‌ ඔබ රතුපාටයි කියලා හඳුනාගන්නවා. නිල්පාට ඔබ, නිල්පාට වශයෙන් හඳුනාගන්නවා. මේ මගේ අම්මා, තාත්තා කියලා හඳුනාගන්නවා. ඔබ සිතන්න පුද්ගලයන් සියදෙනෙක්‌ අතර ඔබේ අම්මා ඉන්නවා කියලා. ඔබ එක ක්‍ෂණයකින් ‘මේ මගේ අම්මා’ කියලා සියලුදෙනා අතරින් අම්මාව හඳුනාගන්නවා. මේ කිරි, මේ ගිතෙල්, මේ වෙඬරු කියලා ඔබ හඳුනාගන්නවා. මේ පිරිමියෙක්‌, මේ කාන්තාවක්‌ය කියලා හඳුනාගන්නවා. මොහු චීන ජාතිකයෙක්‌ මොහු කළු ජාතිකයෙක්‌ය කියලා හඳුනාගන්නවා. මේ කෑගසන්නේ කාක්‌කෙක්‌, හරකෙක්‌, අලියෙක්‌ ය කියලා හඳුනාගන්නවා.


පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න. ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇසෙන් යම් රූපයක්‌ හඳුනාගත්තා නම්, කනෙන් යම් ශබ්දයක්‌ හඳුනාගත්තා නම්, ඔබ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් යම් හඳුනාගැනීමක්‌ සිදුකළා නම්, ඒ සෑම හඳුනාගැනීමක්‌ම අනිත්‍යභාවයට පත්වූ ධර්මතාවයක්‌ නේද?


ඒ කිසිම හඳුනාගැනීමක ඔබ තුළ මම කියා කෙනෙක්‌, මගේ කියා නිත්‍යවූ කෙනෙක්‌ සිටියාද? ඒ කිසිම හඳුනාගැනීමක්‌ තුළ ආත්මයක්‌ කියා දෙයක්‌ තිබුණාද? සංඥාව හිස්‌ දෙයක්‌, අනාත්ම වූ දෙයක්‌. වේදනාව කියන ධර්මතාවය හේතුවෙන් සකස්‌වෙන අනිත්‍යවූ ඵලයක්‌ පමණක්‌මයි. මේ කාරණාවන් නුවණින් දකිනකොට, සංඥාව කෙරෙහි ඔබ ඇතිකොටගත් මමත්වයේ දැඩිභාවය සියුම්වෙනවා. එවිට ඔබ අතීතයේ යමක්‌ හඳුනාගත්තද, වර්තමානයේ යමක්‌ හඳුනාගත්තද, එම රූපය හඳුනාගත් විගසම ‘අනිත්‍යයි’ කියන අර්ථය ඔබ තුළින් මතුවෙනවා.

පිංවත් ඔබ සිතන්න ඔබට ලස්‌සන නිල්පාට කමිසයක්‌ තෑගි ලැබෙනවා කියලා. ඒ ලස්‌සන නිල්පාට කමිසය ඔබ ලස්‌සනයි, නිල්පාටයි, අලුත්… වශයෙන් හඳුනාගන්නා මොහොතේම, දිරාගිය, පාට පිච්චී ගිය නිල්පාට පරණ කමිසයක්‌ සිහියට නගාගන්න.


මේ රාත්‍රියේ භික්‍ෂුවට එකපාරට නරියකුගේ කෑගසන හඬක්‌ ඇසෙනවා. ඒ හඬ නරියකුගේ බව භික්‍ෂුව හඳුනාගන්නවා. මොහොතකින් නරියාගේ හඬට බියවූ මොනරකුගේ කෑගසන හඬ ඇසෙනවා. ඒ හඬ මොනරකුගේ බව භික්‍ෂුව හඳුනාගන්නවා. උදේ පටන් මේ රාත්‍රිය වන තුරු මොන තරම් ශබ්ද කනෙන් අසා, මනසින් සිතා හඳුනාගන්න ඇතිද. ඒ හැම හඳුනාගැනීමක්‌ම නිරතුරුව වෙනස්‌ වෙනවා. ඔබ යමක්‌ හඳුනාගත්තද, එය නිරතුරුවම වෙනස්‌ව යනවා. ඒ වෙනස්‌වීම දකින පිංවතා සංඥාවට බැඳී යන්නේ නැහැ. විවේකීව සිටින සෑම මොහොතකම ඔබට අතීතයේ ඇතිවුණාවූ හඳුනාගැනීම්වල අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. එවිට සංඥාව කෙරෙහි පවතින මමත්වය දැඩිභාවය ඔබ තුළින් තුනීවී යනවා.


Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page