top of page

සංස්‌කාර නම් මැජික්‌කාරයා දැකගන්න

  • Writer: Daham Maga
    Daham Maga
  • Nov 4, 2018
  • 3 min read

භික්‌ෂුව පිණ්‌ඩපාතයේ වඩින කැලෑ මාර්ගයේ අඩිපාර කොළ අතු වැටිලා අපවිත්‍ර වෙලයි තිබුණේ. ගමේ පිංවත් මහත්මයෙක්‌ ඊයේ සවස එම අඩිපාර හොඳින් අතුගාල පිරිසිදු කරලා තිබුණා. මහාසංඝරත්නය අරමුණුකොට මං මාවත් පිරිසිඳු කිරීමේ පිනෙන් මහත්මයාට සුවපහසු මටසිලිටු බුමුතුරුණු පළස්‌ ඇතිරිලි සැපවත් යාන වාහන සහිත මහේශාදී සැපසම්පත් ලැබේවා කියලා භික්‌ෂුව එම මහත්මයාට පිං අනුමෝදන් කළා. යම් පිංවතෙක්‌ මහා සංඝරත්නය අරමුණු කොට මංමාවත් පිරිසිදු කරනවා නම් ඉහත ආනිශංශයන් ලැබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසාම ශ්‍රාවකයින් වන අපිත් එම සම්පත් ලැබේවා කියලා ගිහි පිංවතුන්ලාට ආශිර්වාද කරනවා. මෙවැනි ආශිර්වාද කිරීම් හේතුවෙන් ගිහි පිංවතුන්ලා තුළ කුසලය කෙරෙහි තව තවත් ඡන්දය ඇතිවෙනවා. අපි පිංවතුන්ලාට එවැනි සශ්‍රීක ජීවිත ප්‍රාර්ථනා කළත් වර්තමාන සමාජයේ පෙර පින නිසාම මේ ජීවිතයේදී සශ්‍රීක මහේශාඛ්‍ය ජීවිත ගතකරන ආයුෂ, වර්ණ, සැපය, බලය සහිත ජීවිත ගතකරන පිංවතුන්ගේ සැපයන් කෙරෙහි ද්වේශයෙන්, වෛරයෙන් කටයුතු කරන පිරිස්‌ සිටින බව සමාජයේ සිදුවන ක්‍රියාකාරකම් තුළින් විද්‍යමාන වෙනවා. මෙය පිනට කරන අභියෝගයක්‌ වෙනවා.


සිද්ධාර්ථ කුමාරයා කිඹුල්වත් නුවර ශාක්‍යවංශයේ උපත ලබන්නේ රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගාවල කුමාර සැප සම්පත් වින්දේ කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ නිසා. අනුරුද්ධ මහරහතන්වහන්සේ ගිහි කුමාර අවධියේ තම සිටු මන්දිරයේ සිට ඇල් සහල් අනුභව කරනවා. නමුත් මේ ඇල්සහල් ලැබෙන්නේ කොහොමද කියලා අනුරුද්ධ කුමාරයා දැනගෙන සිටියේ නැහැ. මෙවන් මහේශාඛ්‍ය ජීවිත මේ අය ලැබුවේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් නිසා. විශාඛා සිටු දියණියට ලක්‍ෂ ගණනක්‌ වටිනා මහාමේලපලඳනාව තෑගි ලැබෙන්නේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් නිසා. අනේපිඩු සිටුතුමාට ජේත උයන රන්කාසි වලින් අහුරන්න තරම් ධනයක්‌ ලැබුණේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන් නිසා. මේවා සමාජ අසාධාරණයන් නිසා සිදුවෙච්ච දේවල් නොවේ. නමුත් සම්මා දිට්‌ඨියේ අර්ථයන් නොදන්නා මිථ්‍යාදෘෂ්ඨික පිංවතුන් මේ උතුම් කුසල් ශක්‌තිය නොවැදගත් මිථ්‍යාදෘෂ්ඨික මතවාද තුළින් විවේචනයට ලක්‌කරනවා. අනුන්ගේ සැපය, සශ‍්‍රීකභාවය, වත්පොහොසත්කම් දකිනකොට ද්වේශය ඇතිකොට ගන්නවා. ඇයි ඔහුට ලැබුණේ? ඇයි මට නොලැබුණේ? කියලා. ධර්මානුකූලව ගලපා දකින්න දක්‍ෂ නැහැ. දුප්පත්කම, දරිද්‍රතාවය, ආණ්‌ඩු පෙරළිවලින් ජය ගන්න උත්සාහගන්න පිංවතුන් පන්සලකට, පිංකම්පොලකට නොයා පෙළපාලියට යනවා. පෙළපාලි ගිය මනුෂ්‍යයෝ පසුකලක රටේ ප්‍රභූන් බවට පත්වෙන්නේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන් නිසාමයි. මෙතනදි පින ඔබට විසඳලා දෙන්නේ හේතුඵල ධර්මයක්. එම පිංවතාට පන්සලට පිංකම්පොලට යන්න සිත දෙන්නේ නැතුව ඔහුට පෙළපාලියට යන්න කැමැත්ත ඇතිවෙන්නේ ඔහු තුළ සැඟවි ඇති එහෙත් ඔහු නොදන්නා අතීත කුසල් සංස්‌කාරයන්ට විපාකදීමට මාර්ගය මතුකොට දීමටයි. පෙර ජීවිතයේ ඔහු ශිල්පද ආරක්‌ෂාකොටගෙන, මහා සංඝරත්නය අරමුණුකොටගෙන හවුලේ දන් පූජාකරගෙන ශක්‌තිමත් පිංකම් කරගෙන තිබුණත් ඔහු ගිය ජීවිතයේ මැරෙන වේලාවේ සකස්‌වුණ අවසාන චුති සිතට අරමුණු වෙන්නේ දුර්වල කුසල් සිතක්‌. අවසාන චුති සිතට අරමුණු වුණු දුර්වල කුසල් චිත්තය හේතුවෙන් ඔහු මේ ජීවිතයේදී එම දුර්වල කුසල් චිත්තයට අදාළව සාමාන්‍ය පවුලක, ගොවි පවුලක උපත ලබනවා. නමුත් ඔහු සතුව යටපත්වී ගිය බලවත් කුසල් ශක්‌තියත් ඇති නිසා ඔහුගේ කැමැත්ත පන්සලට පිංකමට නොව පෙළපාලි යන්නට යොමුවෙනවා.


මෙතනදී යොමුවිම කියන කාරණය, විඥාණය වශයෙන් පිංවත් ඔබ ගතයුතුයි. අවසානයේ සාමාන්‍ය පවුලක ඉපදී පන්සලට, පිංකමට වඩා පෙළපාලි යන්න යොමු වුණා. මහේශාඛ්‍ය ජීවිතයකට පත්වෙනවා. දැන් මින් ඔබට තේරෙනවා ඇති විඥාණය නමැති මැජික්‌ කරුවා ඔබේ අතීත කුසලය අකුසලයට අදාලව කැමැත්ත අකමැත්ත මෙහෙයවන හේතුඵල ධර්මයන්ගේ යථා ස්‌වභාවය බව. සමාජය තුළ සිදුවන සෑම ජයග්‍රහණයක්‌ම, පරාජයක්‌ම සංස්‌කාරයන්ගේ නූල් සුත්තරය නිසාම සිද්ධවෙන බව ඔබට වැටහෙනවා ඇති. ඉහත පිංවතාට පන්සලට, පිංකමට යන්න සිත නොදෙන්නේ පෙර ජීවිතයේ කුසල් ශක්‌තිය නිසා. ඔහුට පෙළපාලි යන්න සිත යොමුවූයේ අතීත කුසලය විපාක දීමට මාර්ගය විවරකොට දීමට අවශ්‍ය නිසා. දැන් පිංවත් ඔබට වැටහෙනවා ද? කුසලය සහ අකුසලය විපාකදීමේදී මොනතරම් උපක්‍රමශීලී ස්‌වභාවයක්‌ ගන්නවාද කියලා. පිංවත් ඔබට භික්‌ෂුව ඉහත කාරණය සටහන් තබන්නේ ඔබට මේ ජීවිතයේදී උතුම් සෝවාන් පලයට පත්වීමට නොහැකිවුණොත් පින කියන ධර්මයේ ආශ්චර්යමත්භාවය කෙරෙහි ඔබ තුළ ඡන්දයක්‌ ඇතිකොට දෙන්න. අවසාන චුති සිතේ ඇතිවූ යම් දුර්වලතාවයක්‌ හේතුවෙන් ඔබ සාමාන්‍ය පවුලක ඉපදුනත් මහේශාක්‍යභාවය ඔබට අහිමි නැහැ කියන කාරණය මතුකොට පෙන්වන්න.


හැබැයි ඉතිං සංස්‌කාරයෝ අනිත්‍යයි. වෙනස්‌වෙලා යනවා. අහිමිවෙලා යනවා. විකෘතිවෙලා යනවා. පරාජය වෙලා යනවා. ජයවේවා කියපු මනුෂ්‍යයෝම අවසානයේදී බන්ධනාගාරගතවේවා යැයි කියනවා. මුලාවක්‌, විජ්ජාවක්‌, මායාවක්‌මයි ලෝකය. පෙර ජීවිතයේ සුගතියක සිට මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා මෝහය ජීවිතය කොට ගන්නා නිසාම මරණෙන් මතු සතර අපායන්ට වැටෙනවා. මනුෂ්‍යයාට පින විපාක දෙනකොට හැමෝම ඔහුට ජයවේවා කියනවා. පින ගෙවීයනකොට තවත් පිංවන්තයෙකුට ජයවේවා යැයි කියනවා. දක්‌ෂයා අකුසලයට යට නොවී කුසලය තුළින් නැවත පින මතුකොට ගන්නවා. තට්‌ටුමාරු ක්‍රමයට මෝහබරිත සත්වයාට පින සහ පව මැජික්‌ පෙන්වනවා. සංස්‌කාරයක්‌ වූ පින සහ පව මගේ කොට ගැනීම නිසා මැජික්‌කරුවාගේ මැජික්‌ සාස්‌තරයට සත්වයා නිරතුරුවම කොටුවෙනවා.


ree

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page