top of page

පන්සල, ආරණ්‍යය කුසලයටම මිස අකුසලයට නම් නො යොදන්න

  • Writer: Daham Maga
    Daham Maga
  • Jul 7, 2018
  • 2 min read

පිංවත් ඔබ ලබාන්නාවු නව වසරේදී පන්සල, ආරණ්‍යය, ස්‌වාමීන් වහන්සේලා පිංකම් නිසා අකුසල් මූලයන් සකස්‌කර ගන්න එපා. පිංකම් සිදුකරන්න ඕනේ කුසල් මූලයන් රකිමින්. පන්සලේ වැඩසිටින සාමණේර ස්‌වාමීන්වහන්සේ තමන්ගේ ආගමික කටයුත්ත සිදුකළාය කියල අකුසල මූලයන් ඇතිකර ගන්න එපා. අතීතයේ ජීවත්වුණ අන්‍ය ආගම්වල අවබෝධය ලැබූ උග්ග ගෘහපතිවරයත්, අනේපිඩු සිටුතුමාත්, සාමණේර ස්‌වාමීන් වහන්සේට පසඟපිහිටුවා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි අනාගාමී උපාසකතුමාට වඩා අද පැවිදිවූ සාමණේර ස්‌වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියල. පිංවත් ඔබ සාමණේර ස්‌වාමීන් වහන්සේලා තමාගේ ආගමික කටයුත්ත සිදුකළාය කියල ගැටුණොත් පිංවත් ඔබ අතීතයේ වැඩසිටිය උතුම් රහත්ඵල අවබෝධය ලැබූ නිග්‍රෝධ, සෝපාක, සංකිච්ච, දබ්බමල්ල පුත්ත වැනි සාමණේර අවධියේදීම උතුම් රහත්ඵල අවබෝධය ලැබූ සාමණේර රහතන් වහන්සේලා සමඟත් ගැටුණා වෙනවා. එවිට උතුම් සංඝරත්නය කියන අර්ථය ඔබ තුළ පිහිටන්නේ නැහැ.


සාමණේර ස්‌වාමීන් වහන්සේලාත් ලබන්නාවු නව වසරේදී දක්‍ෂවෙන්න ඕනේ ගිහිපිංවතුන්ලා තමන්ට වන්දනා කරන්නේ, සිව්පසයෙන් ඇප උපස්‌ථාන කරන්නේ අතීතයේ වැඩසිටි නිග්‍රෝධ, සෝපාක, සංකිච්ච වැනි උතුම් සාමණේර රහතන්වහන්සේලා අරමුණු කොටගෙනයි කියන කාරණය නුවනින් මතුකොටගෙන සංකීර්ණ දශශීලය තුළ, ධර්මයන් තුළ හැකි පමණින් ශක්‌තිමත් වෙන්න. සමහර විට සාමණේර ස්‌වාමීන් වහන්සේට වන්දනා කරන ගිහි පිංවතා සෝවන්ඵල අවබෝධය ලැබූ ගිහි පිංවතෙක්‌ වෙන්න පුළුවන්. මෙවැනි අවබෝධාත්මක ගිහි වන්දනාවකදී සාමනේර ස්‌වාමීන්වහන්සේගේ ශීලයෙන් දුර්වල නම් උන්වහන්සේට එය අනතුරක්‌ වෙනවා.


පිංවත් ඔබ ලබන්නාවූ නව වසරේදී කුමන පිංකමක්‌ සිදුකලත් ඒ තුළින් කුසල් මූලයන් ශක්‌තිමත් කරගන්න දක්‍ෂවෙන්න. පිංවත් ඔබ දානයක්‌ පූජාකරන විට එම දානයට තවත් කෙනෙක්‌ගෙන් කෙසෙල් ඇවරියක්‌ හෝ අරගෙන අනුන්වත් සහභාගීකරගෙන මගේ දානය කියන ලෝභ සිත බිඳ දමන්න. පිරිකරක්‌ පුජා කරන විට තවත් පිංවතෙකුගෙන් එම පිරිකරට රුපියල් දහයක්‌ හෝ සමාදන් කරගෙන මගේ පිරිකර කියන ලෝභ සිත දුර්වල කර දමන්න. කඨින පිංකමක්‌ සිදු කරන විට අවම වශයෙන් තමන්ගේ ඥාතියෙක්‌වත් එම පිංකමට හවුල්කරගෙන මගේ කඨින පිංකම කියන ලෝභ සිත දුර්වලකර දමන්න.


පිංවත් ඔබ ලබන්නා වූ නව වසරේදී පන්සලට, ආරණ්‍යයට පිං සිදුකර ගැනීමට ගිහිල්ලා මල් දමාගෙන ගිය පොලිතින් බෑගය තෙල් දමාගෙන ගිය හිස්‌ බෝතලය, හිස්‌ හඳුන්කූරු පෙට්‌ටිය පන්සලේ භූමිය අපවිත්‍ර වෙන ලෙස දමා එන්න එපා. බුදුරජාණන් වහන්සේට පහන් ආලෝකය දල්වල පහන් වැටේ තිබී අතේ ගෑවුන දැලි කුණු සුදු බිත්තියේ පිසදමන්න එපා. මොනම හේතුවක්‌ නිසාවත් පන්සලට බලු පැටව්, පූස්‌ පැටව් ගෙනත් දමන්න එපා. පන්සල්, ආරණ්‍ය භූමි තුළට නිකෙලෙස්‌ සිතින් පැමිණෙන පිංවතුන්ලාගේ සිත් තුළ කෙළෙස්‌ ඇතිවන අසභ්‍ය ආකාරය හැසිරෙන්න එපා. මේවා අටමහ අකුසල් ගණයටයි වැටෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අටමහ කුසල් වශයෙන් පන්සල් කුටි පූජා කිරීම, බුදුපිළිම වහන්සේලාට පූජා කිරීම, කඨින පිංකම් සිදුකිරීම, වැසිකිළි කැසිකිළි පූජාකිරීම, අශ්ඨ පරිශ්කාර පූජා කිරීම වැනි නිරතුරුව පිං වැඩෙන පිංකම් දේශනාකොට තිබෙනවා. අටමහා කුසල් සිදුකිරීමේදී පිංකමෙන් පසුවත් නිරතුරුව පිං වැඩෙනවා. ඒ වගේමයි යම් පිංවතෙක්‌ පන්සල, ආරණ්‍යය පරිසරය අපිරිසිදු කරනවා නම්, අසභ්‍ය ලෙස හැසිරෙමින් තරුණ ස්‌වාමීන්වහන්සේලාගේ, ගිහි පිංවතුන්ගේ සිත් දූෂ්‍ය කරනවා නම්, බලු පැටව් පූස්‌ පැටව් ගෙනත් දානවානම්, ස්‌වාමීන්වහන්සේලාව විවේචනය කරනවා නම්, සාංඝික දේපළ ගිහි පිංවතුන් විසින් පරිහරණය කරනවා නම්, මේවා කරන පිංවතුන් සුවෙන් සිටියත්, ඒ පිංවතුන්ලාගේ ජීවිතවලට පව් එකතුවෙනවා. මේවා අටමහ අකුසල් ගණයටයි වැටෙන්නේ.


පිංවතුන් මහපාරෙදි දැකලා ඇති, සමහර මානසික රෝගී යාචක පිරිස්‌ සිටිනවා. අවුරුදු ගණනාවකින් ඒ අය නාලා පිරිසිදුවෙලා නැහැ. මුළු ශරීරයම කුණු බැඳිලා. දූවිලි කුණු තැවරුන කිළුටු ඇඳුමක්‌ තමයි ඇඳගෙන සිටින්නේ. හිසකෙස්‌ ඝනව වැවිලා, අඳුරු පැහැයට පොකුරු ගැසිලා තිබෙන්නේ. කෙනෙකුට දකින්න අප්‍රසන්නයි. තමන්ගේ අපවිත්‍රභාවය ඔහුට දැනෙන්නේ නැහැ. මනුෂ්‍ය සමාජය තුළ ජීවත්වෙන මේ අපවිත්‍ර මනුෂ්‍යයා, පෙර ජීවිතයේ පන්සල, ආරණ්‍යය අපවිත්‍ර කළ අටමහා අකුසලයන්ගේම ඵලයක්‌.

Recent Posts

See All
නව වසරට ලිපි පෙළ

නව වසරට ධාර්මික ප්‍රවේශයක් සඳහා, අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් රචනා කල ලිපි පෙළක් මෙහි ඇතුලත් වේ. මේ ඝෝර, කටුක,...

 
 
 
මෙයට වඩා වටිනා අවුරුදු තෑග්ගක්‌…

පිංවත් ඔබ උදෑසන, එසේත් නැතිනම් රාත්‍රියට, කායික පිරිසිදුභාවය ඇතිකරගෙන, තෙරුවන් සරණ පිහිටලා, උතුම් පංචසීලය සමාදන්වන අවස්‌ථාවේදි, පිංවත්...

 
 
 
ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබ විසින් ඔබෙන්ම ඇසිය යුතු පැනයයි මේ…

බුදුරජාණන්වහන්සේ නමක්‌ ලෝකයට පහළවීමත්, බුදුරජාණන් වහන්සේනමක්‌ දේශනා කරන ධර්මය අසන්නට ලැබීමත්, ඇසුවාවූ උතුම් සද්ධර්මය යමෙක්‌ ජීවිතයට ...

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page